බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මැඬලීමේ අංශය විසින් ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී, මුදලට ලිංගික සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකේය චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැසචුසෙට්ස් හි ප්රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ (Tufts University) බෞද්ධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ 32 හැවිරිදි චීවරධාරියෙකි. මෙම සිදුවීමෙන් පසු හෙතෙම වහාම ක්‍රියාත්මක වන පරිදි තම විශ්වවිද්‍යාලයීය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
බොස්ටන් කලාපය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව සිදුවිය හැකි මිනිස් ජාවාරම් සහ ලිංගික සූරාකෑම් මැඬපැවැත්වීම සඳහා බොස්ටන් පොලීසිය "ඔපරේෂන් රෙඩ් කාඩ්" නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.
එහි කොටසක් ලෙස, උපායදූත පොලිස් නිලධාරීන් විසින් ලිංගික ජාවාරම්කරුවන් බහුලව භාවිත කරන වෙබ් අඩවියක ව්‍යාජ දැන්වීම් පළ කර තිබූ අතර, සැකකාර චීවරධාරියා ඇතුළු පස්දෙනෙකු එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් සේවා ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී මෙසේ පොලීසියට කොටු වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරුවන් බොස්ටන් ඩවුන්ටවුන්හි පිහිටි මොක්සි හෝටලයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, විවිධ ලිංගික සේවාවන් සඳහා ඔවුන් ඩොලර් 125 සිට 400 දක්වා මුදල් ලබාදීමට එකඟ වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ එම නිශ්චිත මුදල් ප්‍රමාණයන් තිබූ බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් චීවරධාරියා අධිකරණය හමුවේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, "මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත් කිරීම" යන සුළු වැරදි චෝදනාව යටතේ එලැඹෙන සැප්තැම්බර් 02දා හෙතෙම නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. මේ සම්බන්ධයෙන් එම චීවරධාරියාගේ නීතිඥ කැතරින් කූන්ට්ස් මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර, ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සබඳතා විධායක අධ්යක්ෂ පැට්රික් කොලින්ස් ප්‍රකාශ කළේ, මෙම චීවරධාරියා පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව විශ්වවිද්‍යාලයට දැනුම් දුන් බවයි. හෙතෙම 2024 දෙසැම්බර් මාසයේ සිට එම තනතුරේ කටයුතු කර තිබුණි.
විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දේවගැති එලීස් නෙල්සන් වින්ගර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බෞද්ධ උපදේශක ධුරය සඳහා නවකයෙකු බඳවා ගැනීමේ කටයුතු මෙම ගිම්හාන සෘතුවේදී ආරම්භ කරන බවත්, එතෙක් විශ්වවිද්‍යාලයේ බෞද්ධ ආගමික කටයුතු සහ වැඩසටහන් බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවත්ය. දැනටමත් විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවියෙන් අදාළ චීවරධාරියාගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

