බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි.
ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න
ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා
ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊ (16) පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
එසේම දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට ලිඛිතව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදි ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.
අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළ අතර වතු සමාගම්වලින් ඉඩම් නීත්‍යානුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති බාධා පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ පිළිබඳ වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් නිම කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටී මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි මතුව ඇති ගැටළු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේම විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
එසේම බදුල්ල දිස්ත්‍රික්කය තුළ 2024 දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සැලසුම් පිළිබඳවද මෙහිදී විමසා බැලිනි.
ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබාදෙන බවත් කඳුරට සංවර්ධන වැඩසටහන, අමාත්‍යාංශවලට වෙන් කර ඇති මුදල්, පළාත් සභාවලට ලබා දෙන මුදල් මෙන්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ලැබෙන මුදල් යන සියල්ල එක් කරගනිමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට එමගින් හැකියාව ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා ලබන වසරේ ජූලි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.