රුසියානු - යුක්රේන අර්බුදය හමුවේ ඇතිවීමට නියමිත ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවල් සැලසුම් සකස් කරද්දී ලංකාවේ පාලකයන් පමණක් එවැනි අර්බුදයක් ඇති නොවන බව සිතමින් කල්මරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නොමැතිව වාහන අතර මග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු පෙන්වීමක් බවද හෙතෙමසඳහන් කළේය.
රාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ජනතාව තබන බවත්, ඉන්ධන අර්බුදය හමුවේ ධීවරයන් ඇතුළු බහුතරයක් ජනතාවට තමන්ගේ වෘත්තීන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.
ඔහු මෙම අදහස් පළකළේ අද (01දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති තරුණ හමුවකට එක්වෙමිනි.
"ලෝකයම අද දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න නියමිතව තිබෙනවා. මොකද රුසියාව යුක්රේනය අක්‍රමණය කිරීමට කටයුතු කිරීමත් සමග ලොකු ආර්ථික අවපාතයක් ඇතිවීමේ පෙරමඟ ලකුණු පහළ වෙලා තියෙන්නේ. මේ යුද්ධය වෙනුවෙන් රුසියාව දවසකට ඩොලර් බිලියන 15ක් පමණ වැය කරනවා. අනෙක් පැත්තෙන් ඇමෙරිකාව සහ ප්‍රධාන බටහිර රටවල් තමන්ගේ අවි ආයුධ යුක්රේනයට සපයමින් සිටිනවා.මේ විනාශ වෙන්නේ ලෝක ආර්ථිකයේ මූල්‍ය ශක්තියයි.
රුසියාවේ ගෑස් හා ඉන්ධන ජාත්‍යන්තර වෙළෙඳපොළට නොපැමිණීම හමුවේ අරාබිය දෙසට ලෝකයේ අනෙකුත් රටවල් ඇදී යනවා. මෙතනදි අරාබි රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යනවා. එම නිසා ඉන්ධන හා ගෑස් මිල තව තවත් ඉහළ යන්න පුළුවන්. 2014න් පසු වැඩිම බොරතෙල් මිල පසුගියදා වාර්තා වුණා. ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යමින්.
බොරතෙල් බැරලයක මිල මේ මාසය මැද වන විට ඩොලර් 115ත්,120ත් අතර මිලකට එන්න පුළුවන් කියලා ලෝක ආර්ථික විශ්ලේෂකයන් අනතුරු හඟවනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ලෝකයේ සියලුම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. මේ ආර්ථික අර්බුදය ලෝකයේ සියලුම රටවලට බලපානවා. මේ නිසා ලෝකයේ අනෙකුත් රටවල් මෙම අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් සකස් කරමින් සිටිනවා.
ලංකාවේ ආණ්ඩුව නම් එහෙම කිසිම අර්බුදයකට සූදානම් වෙන බවක් පේන්නේ නෑ. අපි එහෙම අර්බුදයක් ඇති නොවෙයි කියලා හිතාගෙන වැඩකරන බවක් තමයි පේන්න තියෙන්නේ. ලංකාව මේ වන විට බංකොළොත් වෙමින් යන රටක් බවට ලෝක ආර්ථික දර්ශක පෙන්වා දී තිබෙනවා. මේ නිසා ලෝක ආර්ථික අර්බුද ගැන ආණ්ඩුව තව තවත් සැලකිලිමත් විය යුතු වුවත් ඔවුන් කිසිවක් නොවූ ආකාරයට සිටීම වගකීම් පැහැර හැරීමක්" යැයි පවසා සිටියේය.
