මෙවර කන්නයේ බී ලූණු වගාව සාර්ථකව ඇති බැවින්, එම අස්වැන්න වෙළඳපලට පැමිණෙන අවස්ථාවේ බී ලූණු ආනයනය සීමා කර බද්දක් පනවා, ගොවියාට හා පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන මිලක් නියම කරන ලෙස බී ලූණු වගා කිරීමේ ගොවීන්ගේ සංගමය පවසයි.
මහවැලි එච් කලාපයේ බී ලූණු ගොවීන්ගේ සංගමයේ සභාපති ඔස්ටින් චමින්ද කුමාර මහතා ඇතුළු ගොවීන් ඉල්ලන්නේ, මෙම මස 15 වැනි දින සිට ලබන මස අවසන් වනතුරු පමණක් බී ලූණු ආනයනය සීමා කරන ලෙසය.
තමන්ට බී ලූණු වගා කිරීමේදී කිලෝග්රෑමයකට රුපියල් 140 පමණ වැය වන බවත්, ලැබූ අස්වැන්න සඳහා කිලෝග්රෑමයකට රුපියල් 200 ක පමණ මිලක් බලාපොරොත්තු වන බවත් ඔවුන් පවසති. මේ සඳහා රජය මැදිහත් විය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.
මෙවර තම අස්වැන්නට නිසි මිලක් නොලැබුණහොත්, ඉදිරියේදී ගොවීන්ට මෙම වගාවෙන් ඉවත්වීමට සිදුවන අතර, ඉන් අනතුරුව රටට අවශ්‍ය සියලුම බී ලූණු පිටරටින් ආනයනය කිරීමට සිදුවන බවද ගොවීහු පෙන්වා දෙති.
එමෙන්ම, සෑම අවුරුද්දක මෙන් මෙවරද බී ලූණු සඳහා බද්දක් පනවන අවස්ථාව ලැබෙන විට ඊට පෙර මහා පරිමාණ ව්‍යාපාරිකයන් බී ලූණු ආනයනය කර ගබඩා කර විශාල ලාභයක් ලබා ගැනීමේ සූදානමක් ඇති බවත්, ඒ සඳහාද රජය මැදිහත් විය යුතු බවත් ඔවුන් අවධාරණය කළහ.

