බිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී (18) වෙනිදා බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් සැරයන්වරයා අංක 57-8192 දරණ වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස පදවමින් ත්රී රෝද රථයකට ඉස්සර කිරීමට ඉඩනොදී අනතුරක් සිදුකිරීමට තැත්කර තිබේ.
ත්රීවීල් රථයේ රියදුර ඒ පිළිබඳව ඔහු සමඟ බහින්බස් වී ඇති අතර නගරයේ කිහිපදෙනෙකුද ඒ අසල අසලට පැමිණ වෑන් රථයේ රියදුරු සමඟ බහින්බස්වී තිබේ.
ඔහු පොලිස් නිලධාරියෙකු බව ඒ අසල පිහිටි පිරිස හඳුනාගෙන ඇති අතර ඔහු බීමත්ව සිටින බවද ප්රකාශ කර ඇත.
ඒ අවස්ථාවේ බිබිල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප නිහාල් මහතා එම ස්ථානයට පැමිණ වෑන් රථයේ රියදුරු,වෑන් රථය සමඟ පොලීසියට රැගෙන ගොස් ඇත.
එහිදී අනාවරණයවී ඇත්තේ ඔහු බීමත්ව සිටි බවයි. වෑන් රථයේ රියදුරුමොනරාගල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව හෙළිවී තිබේ.
සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර 23 වෙනිදා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි. බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක