ගොවීන්ට බෙදා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21කින් 40%ක් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වහාම බැහැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍යාංශය සඳහන් කර සිටියේ නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම බීජ අර්තාපල් තොගයෙන් බහුතරයක් 'කුණු වී' ඇති බවත්, Geotrichum Spp නමැති දිලීරය Pectobacterium Carotovorum නමැති බැක්ටීරියාව බීජ අර්තාපල්වලට වැලඳී ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි. ඒ අනුව අර්තාපල් තොගයෙන් 40%කට පමණ දිලීර ආසාදන වැලඳී ඇති බව සඳහන්ය.
මේ අතර මෙම බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මගින් රජයට සිදු කළ අලාභය සැලකිල්ලට ගනිමින් වගකිවයුතු නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට ඊයේ (28දා) උපදෙස් දී ඇත.
දිලීර ආසාදිත බීජ අර්තාපල් තොගය සම්බන්ධයෙන් වූ විමර්ශන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය මගින් සිදු කර තිබූ අතර එම වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ ලබා දී තිබිණ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වූ සම්පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ජාතික පැළෑටි නිරෝධායන නිර්දේශ මත පදනම්ව ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන බීජ අල මුදා හැරීම සලකා බැලිය හැකි බවත්, ඒ සඳහා නිර්දේශ කරනු ලබන්නේ නම් ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන අල ගොවීන්ට බෙදා හැරීම සිදු කරනු ලබන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.