බිරිඳගේ අසනීප තත්ත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත්, ඒ සඳහා ප්රමාණවත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්රදේශයෙන් පෙරේදා (04 වැනිදා) සවස වාර්තා වූ බව පොලීසිය කියයි.
මෙලෙස වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළක් බවත්,එම බිරිඳ දීර්ඝ කාලයක් සිට ඇයගේ කශේරුකාවේ තිබූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇතිබව සූරියවැව පොලීසිය පවසයි.
මේ අතර,ඇයගේ අසනීප තත්ත්වය සඳහා ප්රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව ඇති බවත් ,සිය බිරිඳගේ අසනීප තත්ත්වය සඳහා ප්රතිකාර ගැනීමට රැගෙන යාම හා ප්රතිකාර දීම ඇතුළු කටයුතු කිරීමට නොව, ජීවත් වීමටවත් ප්රමාණවත් ආර්ථික තත්ත්වයක් නොමැති වීම නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින තම බිරිඳට වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පොලීසිය කියයි.
වස පානය කළ අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. ප්රදේශවාසින්ද පොලීසියට පවසා ඇත්තේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයකින් පසු වූ බවත්, ඇයට ප්රතිකාර ලබා ගැනීමට ආර්ථික තත්ත්වයක් මොවුන් දෙදෙනා හට නොමැති වීමත් නිසා අඹු සැමි යුවළ කලක සිට දැඩි කළකිරීමකින් පසුවූ බවයි.
සිද්ධිය පිළිබඳ සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වන බව පොලීසිය පවසයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ