සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරැදි ගණනය කිරීම් හේතුවෙන් මෙරට බිත්තර සඳහා නියමිත මිළක් පැනැවීමට නොහැකිවී ඇති බව සමස්ථ ලංකා බිත්තර වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරසිරි මාරසිංහ මහතා චෝදනා කළේය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයකට අනුව රුපියල් 50 ක සීමාවේ තිබූ බිත්තරයක් මේවනවිට පාලන මිළක් නොමැතිව රුපියල් 55 න් එහා මිළකට අලෙවි කරමින් තිබෙන බවද මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
අධිකරණයෙන් ලබාගෙන ඇති නියෝගය හේතුවෙන් අර්බුදයක්ව තිබූ බිත්තර මිළ තව තවත් අර්බුදයක් බවට පත්ව ඇති බවද මෙම තත්ත්වය හමුවේ බිත්තරයට පාලන මිළක් සේම ගොවිපළ මිළක් නොමැතිව තිබෙන බවද මාරසිංහ මහතා සඳහන් කළේය.
අනුරසිරි මාරසිංහ මහතා මෙසේද අදහස් දැක්වීය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා වගකීමෙන් යුක්තව ප්‍රකාශ කර සිටියා බිත්තරයක සිල්ලර මිළ රුපියල් 50 න් එහාට යන්න දෙන්නේ නැහැ කියලා. නමුත් දැන් බිත්තරයක මිළ රුපියල් 60 ක් දක්වාම ඉහළ ගිහින් තිබෙනවා.
පවතින මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම මුල සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරැදි ගණනය කිරීමයි. සීයට සීයක්ම වැරුදි ගණනය කිරීම් කරලා රටම අමාරුවේ දාලා තිබෙනවා. මන්දපෝෂණය ඉහළ ගිහින් තියෙන අවස්ථාවක ඉදිරියේදී මේ රට පෝෂණ ඌනතාවය අතින් ඉතා දරුණු තත්ත්වයකට පත් වෙයි මේ විදියට පෝෂණීය ආහාරයක මිළට පාලනයක් නැතිවෙනකොට.
අපි මේ කතා කරන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන්. මේ තත්ත්වය අවබෝධ කරගෙන තමයි පාරිභෝගික සේවා අධිකාරිය බිත්තරයට පාලන මිළක් දැම්මේ. මේ නිසා මේ ප්‍රශ්නයට දැන්වත් මැදිහත් වෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයිද සමස්ථ ලංකා බිත්තර වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී