බිත්තර මිල රුපියල් දෙකකින් පහත හෙළීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පියවර ගෙන ඇත.
14 වැනිදා සඳුදා සිට සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26 දක්වා රුපියල් දෙකකින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව රතු බිත්තරයක මිලද රුපියල් දෙකකින් පහත හෙළීමට පියවරගෙන තිබූ අතර එහි නව ගොවිපළ මිල වශයෙන් රුපියල් 28ක් ලෙස දක්වා තිබේ.
ඉරිදා (13දා) රාත්‍රියේ කුඩා පරිමාණ, මහා පරිමාණ ගොවීන්, වෙළෙඳුන්, සත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු ක්ෂෙත්රයේ නියැලෙන්නන්ගෙන් සැදුම්ලත් මිල තීරණය කිරීමේ කමිටුවේදී දීර්ඝව සාකච්ඡා කොට එම තීරණයට එළැඹි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
“මහා පිරිමාණ, කුඩාපරිමාණ ගොවියන් වට්ටන්න අපි මේ මිල කපනවා කියලා අර්ථ දක්වන හැම දෙනාමත් දන්නවා මේ දිනවල බිත්තර අතිරික්තයක් ඇති බව. එහෙම අතිරික්තයක් නිකම්ම නිර්මාණය වුණා නෙවෙයි. අපට පාරවල් 3ක් වැහිලයි තිබුණේ. එකක් තමයි බ්‍රොයිලර් මව් සතුන්ගේ බිත්තර ලක්ෂ 7ක් 8ක් වෙළෙඳපළට ආවා.
බ්රොයිලර්වලට මිලක් ආව නිසා දැන් ඒකත් ඉවර වෙලා ඒ පාර ඇරෙමින් තියෙන්නෙ. දෙවැනි පාර අපේ සහෝදර හින්දු ජනතාවගේ ආගමික චාරිත්‍රයක් හේතුවෙන් මස් බිත්තර පරභෝජනයෙන් වැළකී සිටියා. ඒ වැඩසටහනත් දැන් අවසන් වෙලා නිසා ඒ පාරත් අපිට විවෘත වෙලයි තියෙන්නෙ. තෙවැනි පාර තමයි අපි රුපියල් 30 සිට 28ට මිල කැපුවම වයස්ගත සතුන් ගොවිපළවලින් ඉවත් කළා. ඒ කියන මාර්ග තුනම අපට විවෘත වෙලා නිසා ඉදිරියේදී බිත්තරයට හොඳ ඉල්ලුමක් ඇතිවෙමින් පවතින්නෙ.
දැනට තියෙන්නෙ ලේයර් මව් සතුන්ගෙ බිත්තර ලක්ෂ 4ක් පමණ වෙළෙඳ පළට එන එකයි. ඒක ලොකු හානියක් වෙන එකක් නැහැ. ඒ නිසා කිසිම ගොවි මහත්තයෙක් රුපියල් 26න් පහළ බිත්තරයක් දෙන්න එපා.”
ඒ අනුව බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන්ද රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසද පෙරේදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත්කර තිබේ.
කුලියාපිටිය- දිනේෂ් උපේන්ද්‍ර