මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන්නේද එසේ නැතිනම් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ පිළිතුරක් පෙබරවාරි මාසය තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ 09වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (20දා) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හැර හොඳ විකල්පයක් තිබේ නම් එය පිළිගැනීමට සූදානම් බවත්, ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමග තීරණයක් ගෙන පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙසත් මුදල් අමාත්‍යවරයාට පවසන බවත් සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා,
"ජනාධිපතිතුමා මේ දෙවැනි සැසිවාරය ආරම්භ කළේ අවරුදු 34කින් පමණ පසු අපි මුහුණ දෙන උග්‍රම ආර්ථික, දේශපාලන අර්බුදය මැද. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කළේ අපේ විදේශ විනිමය ගැටලුව පමණයි. ඒත් අපේ ආර්ථික අර්බුදය ඊට වඩා බැරෑරුම්.
ළඟදි ඉදිරිපත් කරපු ආර්ථික අතිරේක අයවැය යෝජනවා ඇයි දෙසැම්බර් මාසේ විසර්ජන පනතට ඇතුල් කළේ නැත්තේ?එදා අපෙන් ඉල්ලීමක් කරලා මේ පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2,796ක් අනුමත කළා. මේ අලුත් යෝජනාවෙන් තවත් බිලියන 229න් අනුමත කරන්න කියලා ඉදිරිපත් කළා. ඇයි මේක දෙසැම්බර් මාසයේ අනුමත කළේ නැත්තේ.
අද ආර්ථිකය දිහා බැලුවොත් කාරණා තුනක් තිබෙනවා. මේ බර උසුලන්න වෙලා තිබෙන්නේ සමෘද්ධිලාභීන්ට, ත්‍රීරෝද රථ රියැදුරන්ට, කුඩා හා සුළු වෙළෙන්දන්ට සහ අඩු ආදායම්ලාභීන්ට. අපි මැද පන්තියක් බිහි කළේ විවෘත ආර්ථිකයත් එක්ක. මේ විවෘත ආර්ථිකය ක්‍රියාවිරහිත වෙනකොට මේ මැද පන්තියත් කඩා වැටෙනවා.
ඒ වගේම වැඩි ලාභ ලබන සමාගම්, පුද්ගලයන් ස්වල්පයක් ඉන්නවා. මේ රට දුක් විදිනකොට මේ ක්‍රමය යටතේ ඒ අයට වැඩි ලාභ ලබාගන්න පුළුවන්. රජයේ ණය බලන්න. 2019 රුපියල් බිලියන 13,000යි. 2021 ජනවාරි සිට සැප්තැම්බර් වෙනකොට රුපියල් බිලියන 17,000යි. කොහොමද මේක අවුරුදු දෙකකින් බිලියන 4000ක් වැඩි වුණේ.
දැන් තිබෙනවා ඩොලර් බිලියනයක බැඳුම්කරයක් ගෙවීමට. මොකක්ද අපි ඒ ගැන කරන්නේ? පෙබරවාරි මාසය වන විට මේ සභාවට මුදල් ඇමතිතුමා ඒක කියන්න ඕන. මම දැක්කා ඩලස් ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තිබෙනවා අපි අයි.එම්.එෆ්. එක සමග කතා කරන්න ඕන කියලා.
ඉතින් අයි.එම්.එෆ්. එකට යනවාද නැත්නම් අපිට පිළිගන්න පුළුවන් විකල්පයක් ඉදිරිපත් කරනවාද? අන්න ඒ දෙකෙන් එකක් අපි පෙබරවාරි මාසයේ මුදල් ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ප්රශ්නය පාවෙන්න දෙන්න බැහැ. හොඳ විකල්පයක් තිබෙනවා නම් ගේන්න අපි පිළිගන්නම්. නැත්නම් අයි.එම්.එෆ්. එකට යන්න. කැබිනට් මණ්ඩලයත් මේ ගැන තීරණයක් අරගෙන මේ සභාවට දැනුම් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා" යනුවෙන් සඳහන් කළේය.
