බැංකු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොකර බැංකු පෞද්ගලීකරණය කිරීම අර්බුදයට විසඳුමක් නොවන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් සියල්ල විසඳෙන්නේ නැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මුදල් ඇමැති ලෙස සිදු කළ අයවැය කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී අද (31) අදහස් දක්වමින් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රාජ්‍ය ආයතන සියල්ලම කළමනාකරණ විගණනයකට යටත් කළ යුතු බවය. එමෙන්ම 'එක වැඩකට එක ආයතනයක්' ප්‍රතිපත්තිය යටතේ කටයුතු කිරීමේ වැදගත්කම හෙතෙම පැහැදිලි කළේ එමගින් රටේ රාජ්‍ය ආයතන ප්‍රමාණය 2/3 ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු කළ හැකි බව පෙන්වා දෙමිනි.
ඊට අමතරව ආයතන ඇගයීමේ ක්‍රියාවලියක් ඇති කොට, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පටන් 'වැඩ විගණනයක්' සිදුකිරීම මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගැනීමේ හැකියාව රණවක මහතා පෙන්වා දුන්නේ, තමන් අමාත්‍යවරයෙකු ලෙස සිදු කළ කාර්යභාරය පිළිබඳ ප්‍රායෝගික උදාහරණ සහිතව කරුණු දක්වමිනි. රාජ්‍ය ආයතනවල තාක්ෂණික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නව ආදායම් ප්‍රභවයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද රණවක මහතා තම යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
"ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්රකාශනයට අනුව 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384 යි. ණය ඇතුළු සියලු වියදම් රුපියල් බිලියන 6222යි. ඒ කියන්නේ එක රුපියලක ආදායමකට රුපියල් දෙකයි සත හැටක වියදමක් එතුමාගේ අයවැයේ තියෙනවා.
පසුගිය අප්‍රේල් 12 වෙනිදා රජය විදේශ ණය ගෙවීම අත්හිටුවා ප්‍රධාන මූල්‍ය ආයතන, ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව හැරෙන්න, අනිත් සියල්ලේ ණය ගෙවීම ආපසු කරන්නේ නෑ කියා ප්‍රකාශයක් කළා.
මා දන්නෑ මේ වියදමට ඒ අත්හිටවූ ණයත් ඇතුළත්ද නැද්ද කියන එක. ඒ අත්හිටවූ ණය ප්‍රමාණය මේ වසරේ ඩොලර් බිලියන 4 කට වැඩි දැවැන්ත ප්‍රමාණයක්. ඒක නිසා මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය ඒක ඇතුලත්ද නැද්ද කියලා අපිට මං හිතන්නේ මුදල් ඇමතිතුමා, ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි කියලා මම හිතනවා."