බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ අළු ප්‍රමාණය වැඩි වෙලා
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය
විදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිතා කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය. මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.
මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා විය.
ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙසද නිර්දේශ කරන ලදී.
මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ භාවිතා කරන පෙරහන් පද්ධතිය එම අංශු ඉවත් කිරීමට ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන් කළහ. මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, රොෂාන් අක්මීමන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, උපුල් කිත්සිරි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
