බළලෙකුගේ සපා කෑම නිසා වම් පාදයේ ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
මියගොස් ඇත්තේ තල්පේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි හැත්තෑපස් හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ඊයේ (13 දා) කරාපිටිය රෝහලේ දී සිදුකරණු ලැබීය.
මියගිය කාන්තාව උඩුමහලේ සිට නිවසේ පඩිපෙළින් බැසීමේදී නිවසේ ඇතිකරන පූසා පෑගීම නිසා ඇයගේ වම් පාදය පූසා විසින් සපා කා තිබුණි. ඇය මේ පිළිබද එතරම් තැකීමක් සිදුකොට නොමැති අතර පසුව ඇයට උණ වැළදී තිබ. ඇය හබරාදුව කළුගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 28-02 කරාපිටිය රෝහලටමාරුකොට තිබුණි. කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී 13-03 ඇය මියගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඞී. සී. ප්‍රියනාත් මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා පූසකු සපා කෑමෙන් ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.
චන්දන සමරවික්‍රම