ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී අද (26දා) දහවල් එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
ඉලිබ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් ගැනීම සඳහා පැමිණ පාසල අසන්නයේ බස් රථය නවතා තිබියදී පානදුර සිට හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත දහවල් වැඩ මුරය සඳහා සේවක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඇඟලුම් සේවක බස් රථය නවතා තිබූ පාසල් බස් රථයේ පිටුපස ගැටීමත් සමඟ ම පාසල් බස් රථය මීටර් සීයක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ දුරකථන කණුවක ගැටි අනතුරුව ගරාජයක් තුළට කඩා වැදී නැවතී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද ඇඟලුම් සේවක සේවිකාවන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් වාහන වලින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අවස්ථාවේ පාසල් බස් රථය තුළ කිසිදු සිසුවකු සිට නැතැයිද සිසුන් සිටියේ නම් විශාල අනතුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව පොලිසිය කියයි.
ඇඟලුම් බස් රථයේ එම අවස්ථාවේදී සේවක සේවිකාවන් හතළිහක් පමණ සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරින් පාසල් බස් රථයේ ඉදිරිපස සහ පිටුපස පෙදෙසට , ඇඟලුම් බස් රථයේ ඉදිරිපසට මෙම දුරකථන හා විදුලි කණු වලට ද බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.
ඇඟලුම් බස් රථයේ රියැදුරු රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලිසිය කියයි.