බස් රථයක් පදවමින් සිටි රියැදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි.
කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය අද (20) අළුයම 5.45 පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටියදී එහි රියැදුරුට මත්තේගොඩ ප්රදේශයේදී හදිස්සියේ හෘදයාබාධයක් සෑදී ඇති බව පොලීසිය කියයි.
එම අවස්ථාවේදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක් කඩා ගෙන ගොස් නිවසක් අසළ නැවතී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි.
එම අවස්ථාවේදී බස් රථයේ රැඳී සිටි කොන්දොස්තරවරයා රියදුරු අසුන අසළට යනවාත් සමඟම රියදුරුට හෘදයාබාධයක් සෑදී අසාත්මිකව සිටිනු දැක ඇති අතර පසුව ඒ බව බස් රථ හිමිකරු දැනුවත් කොට 1990 ගිලන් රථයක් ගෙන්වා රියැදුරු රෝහල් ගත කිරීමට යාමේදී ගිලන් රථ සේවකයින් පවසා ඇත්තේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පසුව මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය බස්රථ හිමිකරුගේ මැදිහත්වීමෙන් වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩා ගෙන නිවසක් අසළට ගොස් නැවතී තිබූ අතර එම අවස්ථාවේදී නිවස තුළ අඹු සැමි යුවලක් සහ දරුවෙකු රැඳී සිට ඇති අතර යම් හෙයකින් බස් රථය නිවස තුළට ධාවනය වූවේ නම් තවත් ජීවිත හානි සිදු වීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව , උස්වත්ත පාර අංක 80/ C/3 හි පදිංචි වීරතුංග ආරච්චිගේ කපිල පෙරේරා (54) හැවිරිදි හැවිරිදි පුද්ගලයෙකි .
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මත්තෙගොඩ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 20 දා සිදුකිරීමට නියමිතව තිබුණි .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න


