කන්දකැටිය පොලිස් වසමේ නුවර පාර රජමාවත විස්ස කණුව හන්දියට නුදුරින් අද 30 බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් නාවික හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී ඇතැයි කන්දකැටිය පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවික හමුදාවේ ගෙටියමුල්ල ,අලවතුර ලිපිනයේ පදිංචි අලහකෝන් මුදියන්සේලාගේ සසිත් රන්දික අලහකෝන් (36) නමැති නාවික හමුදා සෙබලෙකි.
බදුල්ල සිට මහනුවර දක්වා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක් සහ එම දිසාවටම ගමන් ගත් ස්කූටි යතුරුපැදියක් බස් රථයේ ඉදිරි වම් පස කොටසෙහි ගැටී යතුරුපැදිය පෙරළී අනතුරට ලක් වී ඇති අතර යතුරුපැදිකරු වන නාවික හමුදා සෙබළා බරපතළ තුවාල ලබා සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇති බව ද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
කන්ද කැටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.