බන්ධනාගාර තදබදය අවම කිරීමට සාකච්ඡා
බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙරට බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරිම, බන්ධනාගාර ආශ්රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරිම, නව නීතිමය සංශෝධන හඳුන්වා දීම, යටිතල පහසුකම් පුළුල් කිරීම , නඩු කටයුතු කඩිනම් කිරීම සහ ප්‍රජා විශෝධනය ප්‍රවර්ධනය කිරීම වැනි රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රධාන පියවරයන් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත (Poisons, Opium and Dangerous Drugs Ordinance, - No. 17 of 1929) සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය කාරක සභාවේදී මතුවිය. මත් ද්‍රව්‍ය වෙළෙන්ඳන් (Drug Peddlers) සහ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වන්නන් අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳව ද අදහස් පළ කෙරිණි.
එමෙන්ම චෝදනාවලට ලක් වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියක තැබීම (House Arrest) සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරිහු පෙන්වා දුන්හ.
ඇප ලබාදීමේ ක්‍රමවේද කාර්යක්ෂම කිරීම, නඩු විභාග ප්‍රමාදයන් අවම කිරීම, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම භාවිතය දිරිමත් කිරීම, බන්ධනාගාර කළමනාකරණය නවීකරණය කිරීම, නිලධාරීන් බඳවා ගැනීම සහ මානව සම්පත් හිඟය පියවීම, ආරක්ෂක සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සහ අනෙකුත් සුළු අපරාධ සඳහා සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය, වැනි විකල්ප ක්‍රම සලකා බැලීම ආදී කරුණු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙරට බන්ධාගාරගතව සිටින කාන්තා රැඳවියන් සහ ඔවුන් සමග සිටින වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳව ද මෙහිදී කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, උක්ත දරුවන් වසර 5න් පසු පරිවාස ගත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. එයට අමතරව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනයට සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම මෙන්ම ඇප ගෙවා ගත නොහැකිව බන්ධාගාර ගතව සිටින පුද්ගලයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
උක්ත කරුණ සම්බන්ධයෙන් කාරක සභාවේ අවසන් වාර්තාව සැකසීමට පෙර බන්ධනාගාර නිලධාරින් හමුවී අදහස් ලබා ගැනීමටත්, බන්ධනාගාර කිහිපයකට ගොස් නිරීක්ෂණ සිදු කිරීමටත් කාරක සභාව එකඟ විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
