සාමාකාමී උද්ඝෝෂකයන් සිටි ‘මයිනා ගෝ ගමට’ සහ ෙ‘ගෝඨා ගෝ ගමට’ පහරදීමේ සිද්ධීවලින් අනතුරුව රටපුරා පදිංචිව සිටි දේශපාලනඥයන්ගේ නිවාස ඇතුළු දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද (22දා) ඉල්ලා අස්කර ගත්තේය.
එම සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්දී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ දැනුම්දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පවසමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගත්තේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබිය.
බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් 39දෙනෙකු ගොනු කර පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්දී ඇතැයි පැවසුවාය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති, නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන් වෙනනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බවත්, ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කොට සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක්වීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීමට අවසර දුන්නේය.