විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කිරීම සහ ඒ අනුසාරයෙන් චිත්රපට නිෂ්පාදනය කිරීමේ චෝදනා ලැබු රංගන ශිල්පීන් පස්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (04) තීරණය කළේය .
අනුකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් අනාවරණය නොවන බව බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්යක්ෂිකාවගේ මතය අනුව හෙළි වන බව තීන්දු කරමින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්රාත්වරයා තීරණය කළේය.
විත්ති වාචක නොකැඳවාම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ජනක කුමාර බෝතලේගම හෙවත් බින්දු බෝතලේගම, චිත්රපට නිෂ්පාදක උදය වර්ණකුලසුරිය, ඩි.වි.ඩි. චිත්රපට නිෂ්පාදකවරුන් වන ශ්රීමාල් වීරසිංහ, කැළුම් උදයකුමාර, චමින්ද කුමාර රණසිංහ, නමැත්තන්ය.
ගින්දරී නැමැති චිත්රපටයේ රංගන දායකත්වය සැපයීම, අනුකරණාත්මක ඩී.වී.ඩී. තැටි නිෂ්පාදනය කරමින් චිත්රපට බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.
බන්දු සමරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව බුද්ධිමේ දේපල පනතේ 178 වගන්තිය ප්රකාරව වරදක් සිදු කර ඇති බවට සඳහන් කරමින් 2015 වසරේ මෙම නඩුව පැවරීය.
දීර්ඝ නඩු විභගයකින් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් විත්තිකරුවනන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔවුන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඒ අනුව නඩුව දීර්ඝ වශයෙන් සළකා බැලු ප්රධාන මහේස්ත්රාත්වරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට පැමිණීල්ල සමත් වී නැතැයි තීන්දු කළේය.
බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්යක්ෂිකාව පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් ඇගේ මතය ඉදිරිපතත් කර ඇති බවත් ඇගේ මතය අනුව අනුකරණය කිරීම බුද්ධිමය දේපළ පනතේ 178 වගන්ති යටතට ගණන වරදක් නොවන බව සඳහන් කර ඇතැයි මහෙස්ත්රාත්වරයා තීන්දුවේ සඳහන් කළේය.
විත්තිකරුවනන් කළැයි කියන ක්රියාවෙන් වරදක් අනාවරණය නොවන්නේනම් විත්ති වාචක කැඳවීමෙන් පළක් නොමැති බවට තීන්දු කළ මහෙස්ත්රාත්වරයා විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කළේය.