බටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය සැප්තැම්බරයේදි ජාතික පද්ධතියට
රට තුළ විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
මෙම බැටරි පද්ධති මැයි සහ ජුනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් ඇති අතර, අනුරාධපුර විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ ආසන්නයේ පෞද්ගලික සමාගමක් විසින් ඉදිකරනු ලබන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 85%කින් පමණ අවසන් කර තිබේ.
දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට නියමිතය.
ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් විදුලි බලාගාරවලින් ලබාගන්නා විදුලිබල ප්‍රමාණය අවම කර ගැනීමටද හැකි වනු ඇත.
එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකි වන අතර, එහි පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd (NSO) සමාගම මඟින් සිදු කිරීමට නියමිතය.
බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරෙන අතර, පරිසරයට අවම බලපෑමක් සහිතව ස්ථාවර විදුලිබල සැපයුමක් පවත්වාගෙන යාම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වේ.
මෙම ව්‍යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්රතිලාභ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, තවත් විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 23ක් ආශ්‍රිතව බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

