රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 5,000ක දීමනාවට සාපේක්ෂව පෞද්ගලික අංශ සේවකයාටත් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස අද (01දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
රාජ්‍ය සේවකයාට අදාළ දීමනාව ලබාදීමට සාපේක්ෂව පෞද්ගලික අංශ සේවකයාටත් අදාළ දීමනාව ලබාදීමට කටයුතු කරන බවට සඳහන් කළත් මෙතෙක් ඊට අදාළ කටයුතු සිදු වී නොමැති බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ වසර ආරම්භ වීමත් සමගම රටේ වැඩ කරන ජනතාව ඉතා විශාල ජීවන වියදම් අර්බුදයකට මුහුණදී සිටින බවත්, වෙළෙඳ පොළ තුළ කෘෂි නිෂ්පාදනවල සිට සියලු නිෂ්පාදන මිල ඉහළ යාම නිසා මෑතකාලීනව වාර්තා කරන ලද ඉහළම ජීවන වියදමද වාර්තා වූයේ, පසුගිය දෙසැම්බර් මාසය තුළදී බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම තත්ත්වය තුළ රටේ වැඩ කරන ජනතාවගේ ජීවත්වීම පිළිබඳ ගැටලුව දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින බවත්, රටේ නිෂ්පදන ක්‍රියාවලියෙන් 80%ක පමණ ඍජු දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර ආරම්භ වනවිට 04 දෙනෙකුගෙන් යුත් පවුලකට මසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වන බඩු මල්ලේ වටිනාකම රුපියල් 55,000 පමණ වූ බවත්, එය දෙසැම්බර් මාසය වනවිට රුපියල් 68,000 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ 60% පමණ මාසික වැටුප රුපියල් 25,000 අඩු බවත්, මේ නිසා රටේ ජීවන වියදම ඉහළ යනවිට වැඩ කරන ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා රටේ පවතින නීති සංශෝධනය කර පෞද්ගලික අංශයේ සේවකයන්ට රු. 5,000 දීමනාව ලබාදීම මැදිහත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.