හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා දේශපාලන වේදිකාවට සුදුස්සකු වුවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට නායකත්වය ලබා දිය හැකි ජනතා නායකයෙකු නොවන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන සභාපතිවරු ඇතුළු නියෝජිතයින් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨයන් මගහැර වෙනත් ගමනක යමින් සිටින බවත් නිල නොලත් නාමල් රාජපක්ෂගේ රජයේ නිල නොලත් ජනාධිපතිවරයා එතුමන් බව ප්‍රකාශ කළද එවැනි තනතුරක් පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙවත් දැක නැති බවත් අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපති එච්.පී. සෝමදාස මහතා පැවසීය.
හිටපු නගරාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන සභාපතිවරු ඇතුළු නියෝජිතයින් ඊයේ (24දා) අනුරාධපුරයේදී පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉතිහාසයේ සිටම වැදගත් පුද්ගලයන් අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දුන් අතර ඉදිරියේදී ද එවැනි පුද්ගලයන් දිස්ත්‍රික්කයට අවශ්‍ය බව හිටපු නගරාධිපති පැවසීය.
පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු පුද්ගලයන් දිස්ත්‍රික්කයේ නායකත්වයට පත් කළ යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ තිස්ස කුට්ටිආරච්චි මහතාට ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවත් ඉදිරියේදී පක්ෂය හැර ගිය හිටපු නායකයන්ද එක් කර ගනිමින් දිස්ත්‍රික්කේ නායකත්වය නිර්මාණය කළ යුතු බවත් ඉතිහාසයේ සිටම පැරෂුට් කාරයින්ට ජනතාවගේ කැමැත්ත නොලැබුණු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලාල් සෙනෙවිරත්න පොදු ජන පෙරමුණේ මිහින්තලේ ආසන සංවිධායක ලලිත් එදිරිසිංහ, තිරප්පනය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී යූ.බී.ජයවර්ධන යන මහත්වරුද අදහස් දැක්වූහ.