කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා එල්ල කල වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී වක් පිහියක් , කඩු තුනක් ,සහ හොරයින් මත්කුඩු ගෑම් පහක් පොලිසිය භාරයට ගෙන ඇත. කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ වාර්ෂික දේව ප්‍රතිමා ප්‍රදර්ශනය උත්සව පෙරහරේ රාජකාරී නිමවා මෝටර් රථයෙන් යළි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී කඩුවෙල නගරයේ ඉන්ධන හලක් ඉදිරිපිට නැවතු සුඛෝපභෝගී ජීප් රථයකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තියුණු ආයුධ අත දරාගෙන කඩිමුඩියේ එයින් බිමට බසින අයුරු ඇස ගැටී තිබූ බව පොලිසිය කියයි.
පොලිස් ගුමෝටර් රථය දුටු එම පිරිස ආපසු හැරී ඔවුන් පැමිණි ජීප් රථය වෙත දිව ගොස් එයට නැගීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් බැස පිස්තෝල අවිය ජීප් රථය වෙත එල්ල කර එය නවතන ලෙස කෑ ගසා කීවත් ඔවුන් පළා යාමට සූදානම් වීමේදී ජීප් රථයේ වම්පස ඉදිරිපස හා පිටුපස රෝද වලට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
ඒත් එම පිරිස වෙඩි පහර මධ්‍යයේම ජිප් රථයෙන් මීටර් අටසීයක් පමණ දුරකට ගොස් අතුරු මාර්ගයකදී එයින් බැස පලා යාමට තැත් කිරීමේදී පසුපස හඹා ගිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පළා යමින් සිටි පිරිසෙන් තිදෙනකු අත්අඩංගුවට සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කඩුවෙල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවෙකුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම්ව පැමිණි බවත් එම මත්කුඩු ජාවාරම්කරු යතුරුපැදියකින් ඉදිරියට පැමිණෙන අයුරු දැකීම හේතුවෙන් තමන් ජීප් රථයෙන් තියුණු ආයුධ රැගෙන බිමට බැස්ස බවත් ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවේදී පළා ගිය සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ස්ථානාධිපතිවරයා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල සහ කඩුවෙල පදිංචි වයස අවුරුදු 26 හා 38 අතර පසුවන්නන්ය. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයන් බවත් දර්ශන වලදී අනාවරණය වූ බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය. සැකකරුවන් සියලුම දෙනා කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය