පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ඉහළ විතානගේ ජෝශප් කුමාර නමැත්තා ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේදී අද (4දා) උදෑසන පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
මොහු ඇල්පිටිය , දර්ගාටවුන් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකු බවට හදුනාගෙන ඇති බවද පොලීසිය සදහන් කරයි.
මොහු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළගම ප්‍රදේශයේ නිවසක සිටින බවට ලද තොරතුරක් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම එම නිවස වැටලීමට ගිය අවස්ථාවේ යතුරු පැදියක නැග පලායාම මත පොලිස් නිලධාරීන් පසුපසින් හඹා යමින් සිටියදී බෙම්මුල්ල, බණ්ඩාරබටවල වෙල්යාය අසලදී ඔහුගේ යතුරු පැදිය පෙරලී ඇති බවත් එම අවස්ථාවේ ඔහු අත තිබූ ගිනි අවියකින් පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයට වෙඩි තැබීම මත පොලිස් නිලධාරීන් පෙරලා වෙඩි තැබීමේදී ජෝශප් නමැත්තාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බව කියන ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ සහිත පතරොම් ගැබක් පොලිස් බාරයට ගෙන ඇති අතර වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයට හානිවී ඇති බවද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ බෙම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
