විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ ත්‍රි රෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලිසියට අනුයුක්තව අවකාලිකව ස්ථාන මාරු ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් 8127 රණසිංහ නිලධාරියා හා කැස්බෑව පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් 91475 සංඛ යන නිලධාරීන් දෙදෙනාය
සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය
සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය අතරතුර රාත්‍රී 12. 45ට පමණ ක්‍රීඩාංගනයේ පිටුපස දොරටුව අසලදී සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා සිවිල් ඇඳුමින් යතුරු පැදියෙන් පැමිණ තිබූ කොස්තාපල්වරුන් දෙදෙනා රැගත් යතුරුපැදිය හා සැකකරුවන් පැමිණ තිබූ ත්‍රිරෝද රථය එකිනෙක ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එහිදී දෙපිරිස අතර බහින් බස් වීමක් හටගෙන ඇති අතර ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් විසින් යකඩ පොල්ලකින් කොස්තාපල් දෙදෙනාට පහර දී ඇතැයි පොලිසිය කියයි.
එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා මාර්ගයේ වැටී ඇති අතර ස්ථානයට රැස්වූ පිරිසක් විසින් නිලධාරීන් දෙදෙනා පිළියන්දල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
සිද්ධිය සැලවීමත් සමගම වහා ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විදිහට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබීය.
තවත් පුද්ගලයෙකු පළා ගොස් තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළියන්දල මඩපාත හා කොළඹුන්න පදිංචි වයස අවුරුදු 21 හා 25 අතර පසුවන්නන්ය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී එම් ඩි ඩි නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි.