පොලිස් නිලධාරින්ට දෙන්න යන තීරුබදු රහිත විද්‍යුත් යතුරුපැදි ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුරවැසියා සංවිධානයේ කැඳවුම්කරු ලෙසින් හඳුන්වන පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිල්ලක් යොමු කිරීමක් සම්බන්ධව මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් අදහස් දක්වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැහැදිලි කිරීමක් කරන අතර එම පැහැදිලි කිරීම පහත පරිදි වෙයි.
"මෙම සංසරණය වන වීඩියෝව තුලින් පොලිස් නිලධරයන් හට තීරුබදු රහිතව විදුලි යතුරුපැදි මිලදී ගැනීම සම්බන්ධව පොලිස්පති විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බවත්,
එසේම මෙම යතුරුපැදි ගෙන්වීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අවස්ථාව ලබා දී ඇති බවත්, පොලිස්පතිතුමාගේ හිතවත්කමක් මත එය සිදු වී ඇති බවත්, එම ව්‍යාපාරිකයාට යතුරුපැදි ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා යතුරුපැදි ලබා දීම දැනට ප්‍රමාද කර ඇති බවත් චෝදනා කෙරේ.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ගේ සුභසාධනය සඳහා කණිෂ්ඨ ශ්‍රේණියේ සිට පරික්ෂක ශ්‍රේණීයේ නිලධරයන් වෙත තීරුබදු රහිතව විදුලි යතුරුපැදි ලබා දීම සඳහා වැඩපිලිවෙලක් සකස් කර ඒ සම්බන්ධ යොජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව සත්‍ය කරුණක් වන අතර, අමාත්‍ය මණ්ඩලය විසින් අදාල ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත. එසේම එම යතුරුපැදි සඳහා වන තීරුබදු මුදල පොලිස් ත්‍යාග අරමුදල මඟින් ලබා දීමට අදාල අනුමැතියද ලබා දී ඇත.
ඒ අනුව ඉදිරියට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීම සඳහා පොලිස්පතිතුමා විසින් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට වඩාත් සුදුසුම ආකාරය ලෙස පුවත්පත් දැන්වීමක් හරහා ජාතික තරඟකාරි ක්‍රමවේදය මගින් (Request For Proposal) ලබාගෙන ඉන් සුදුසුකම් සපුරාලන ආයතන මඟින් නිලධාරීන්ගේ කැමැත්ත මත මෙම යතුරුපැදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඊට අදාල පුවත්පත් දැන්වීම් ඉදිරි සති කිහිපය තුල පල කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සිදු වෙමින් පවතී.
කරුණු එසේ හෙයින් මෙම සංසරණය වන වීඩියෝවේ සඳහන් කරුණු සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනු ලැබේ.නිසි පරිදි කරුණු සොයා බැලීමකින් තොරව මහජනතාව තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මෙන්ම පොලිස්පතිතුමන් පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් ගොඩ නැගෙන පරිදි මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ජනගත කිරීමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය පියවර ගැනීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

