පොල් ගෙඩි සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයන කිරීම තුළින් පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850 ක පමණ ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
මෙරට පොල් ගෙඩි හා ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති බැවින් එම අපනයන ආදායම වාර්ෂිකව සියයට විස්ස දක්වා වැඩිකරගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තංගල්ල, මිද්දෙණිය දෙමුහුම් බීජ පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.
2005 වසරේදී කෘෂිකර්ම අමාත්‍යධූරය දැරූ චමල් රාජපක්ෂ මහතා විසින් මිද්දෙණිය කෘෂිකර්ම මධ්‍යස්ථානයෙන් අක්කර 25 ක් පමණ පොල් පර්යේෂණායතනයට පවරා දී ඇත. එම ඉඩමෙහි මෙම දෙමුහුම් බීජ පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබිණ.
අඩු උසකින් යුතු ඉතා ඉක්මනින් වැඩි ඵලදාවක් ලබාගත හැකි දෙමුහුම් පොල් පැල මිලියන දෙකක් 2023 වසර වනවිට නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ ද පැවසීය.
පසුගිය සමයේදී පොල්වගා කිරීමේ මණ්ඩලය වාර්ෂිකව පොල්පැල ලක්ෂ 20 ක් නිපදවනවා. නමුත් පොල් පැල සඳහා තිබන ඉල්ලුමට ඒ ප්‍රමාණය මදි. ඒ නිසා රටට අවශ්‍යතරම් පොල්පැල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේදී අවම වශයෙන් පොල්පැල ලක්ෂ 50ක් නිපදවන්න වැවිලි අමාත්‍යංශය බළාපොරොත්තු වෙනවා. එම ඉලක්කය ජය ගැනීම සඳහා පොල් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය මෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලකම ප්‍රජා දායකත්වය යටතේ පොල්පැල 5000 ක් නිෂ්පාදනය කරන්න රජය බළාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය උසස් හා ගුණාත්මක බවින් ඉහළ පොල් බීජ 5000ක් ලබා දෙනවා. ඒ බීජ තමන්ගේ ඉඩම්වල වගා කරන්න ඕනෑම අයකුට පුළුවන්. මාස දහයකට පසුව ව්‍යාපාරයක් ලෙස එය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපි සහතිකයක් ලබාදෙනවා.


