රටේ පොල්තෙල් හිගයක් මවාපාමින් සිංහල දමිල අලුත් අවුරුද්ද සඳහා මිල විකෘතියක් කිරීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානමින් පොල් තෙල් තොග සඟවා තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදක සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද (08දා) පැවසීය.
මේ දිනවල වෙළඳපොලේ පොල් තෙල් හිඟය පිළිබඳව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයෙන් විමසීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය
දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් ළඟ දිවයිනේ ගෘහස්ථ පරිභෝජනයට අවැසි සියලු පොල් තෙල් තිබෙන බවත් එහෙත් බහුජාතික කණ්ඩායම් ඉතා සූක්ෂම ලෙස පොල් තෙල් තොග සඟවාගෙන මෙම මිල විකෘතිය සිදුකිරීමට යන බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු සියලු කණ්ඩායම් වෙත තම සංවිධානය ලිඛිතව දැනුම් දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම කූට ජාවාරම්කරුවන්ගේ උත්සාහය අසරණ වී සිටින ජනතාව ඔවුන්ගේ තෙලෙන් බැදීම බවත් තවත් රටේ පොල් තෙල් පෝලිමක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙයාකාරයෙන් රජය අපහසුතාවයට පත් කරමින් ඉතා සූක්ෂම ලෙස සිදුකරගෙන යන ක්‍රියාවලිය නැවැත්වීම රජය සතු වගකීමක් බවත් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන පොල් තෙල් ටික සාධාරණ මිලට පාරිභෝගික රට පුරා ජනතාවට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සැකසීම බලධාරීන්ගේ වගකීමක් බවද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මෙම බහුජාතික සමාගම්වල බහාලුම්වල විශාල පොල්තෙල් තොග රඳවාගෙන සඟවා ගෙන තිබෙන බවත් රුපියල් 580 ක ට ලබාගත් පොල්තෙල් කිලෝව රුපියල් හත්සිය හැට පහක වැනි ඉහළ අගයකට දැනටමත් ටික ටික වෙළඳපොළට යොමු කරමින් අධික ලාභයක් ලබා ගැනීම සිදුකරන බවද එහෙත් කිසිදු බලධාරියෙක් අවධානයක් ඒ දෙස යොමු නොකිරීම නිසා ජනතාව සුරා කෑමට ලක්ව වන බව හෙතෙම පැවසීය .
මෙම බහුජාතික සමාගම් විදේශ රටවලින් පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට ඉතා සූක්ෂම ලෙස දේශීය පොල් තෙල් අඩු මිල ගණන් යටතේ තොග පිටින් මිලදීගෙන ඒවා සඟවමින් පිරිපහදු කොට නැවත වෙළඳපොලට යොමු කිරීම සිදුකරන බවත් මිලදීගෙන ඇති පොල් තෙල් ප්‍රමාණය පවා දැනුම්දීමට තම සංගමයට හැකියාවක් පවතින්නේ යැයි බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
