බෝරා උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ බම්බලපිටිය ප්‍රදේශයේ සැරිසරමින් ජංගම දුරකථනයකින් ඒ අවට ප්‍රදේශය වීඩියෝ ගත කළේ යැයි කියන පස්රූල් රහ්මාන් මොහොමඩ් හෙවත් ”පොඩි සහරාන්” නමැත්තා මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ නිලධාරීන් කරුණු දක්වමින් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී කටයුත්තකට හෝ අපරාධමය වරදකට සැකකරුගේ සම්බන්ධතාවයක් පිළිබඳ කරුණු අනාවරණය නොවන බව දැනුම් දුන්හ.
බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ වන පරිදි පසුගිය 27 වැනිදා වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් කිරීමට පූර්ව සැලසුම් කරන්නේ යැයි සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින්ගේ තොරතුරු අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසශට වෙතට භාර දුන් බවත්, සැකකරු රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
පෞද්ගලික ආයතනයක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු වන සැකකරු ඔහුගේ අළුත්වැඩියා කිරීමට දුන් ජංගම දුරකථනය ලබා ගැනීමට දුරකථන අලුත්වැඩියා කිරීමේ ස්ථානයකට යළි පැමිණි අවස්ථාවේදී අවට ප්‍රදේශය මෙසේ වීඩියෝ ගත කර ඇතැයි කී නිලධාරීහු සැකකරු කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී කටයුත්තකට හෝ අපරාධමය වරදකට සම්බන්ධතාවයක් ඇති බවට කරුණු අනාවරණය නොවන බවද දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු මුදා හරින ලෙසට නියෝග කළේය.