පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාද විදානගේ මහනුවර නගරය තුළදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු මහනුවර නගරය තුළදී ඊයේ (29) පස්වරු 02.00 – 02.30 ත් අතර කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් සභාපතිවරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුළත් සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උසාවියට දැනුම් දී සිටි අතර ඔවුන් දෙදෙනා එම සිද්ධියට සම්බන්ධයක් ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබුණි.
ෂේන් සෙනෙවිරත්න