මෙරට පෙර පාසල් දරුවන් අතර දිනකට නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් සීනි පරිභෝජනය කෙරෙන බවත් එසේම පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ පැණි බීම පරිභෝජනය කරන බවත් සෞඛ්‍යට අදාල චර්යා රටා පිළිබඳ අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව පෙර පාසල තුළ ආහාරයට ගැනීමට සහ නැවත නිවෙසට යන අතරතුරදී වැඩිහිටියන් විසින් සීනි ආහාර දරුවන්ට ලබා දෙන බවත් කේක්, බිස්කට් ඇතුළු සීනි බහුල ආහාර ඊට ඇතුළත් වන බවත් වැඩිදුරටත් අනාවරණය වූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (18දා) මේ පිළිබද පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය වැඩිපුර පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී ඇය පෙන්වා දුන්නේ මුඛය ආශ්රිත ගැටලු, ඌණ පෝෂණය සහ අධිපෝෂණයද දරුවන් තුළ බහුලව දක්නට ලැබෙන බවයි.
මීට අමතරව දිනකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට නිර්දේශිත එළවළු දෙකක්, පලතුරු දෙකක් හා පලා මැල්ලුමක් යන ආහාර වේල ලබා ගනුයේ පෙරපාසල් දරුවන්ගෙන් 18.2%ක් පමණක් වන බවට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වූ බවද ඇය සදහන් කර සිටියාය.
විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිත නොකිරීමට හා වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ට විනාඩි 45-60 ත් අතර කාලයක් ඩිජිටල් තිර භාවිතයට නිර්දේශ කර තිබුණද දරුවන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් පැය දෙකකට අධික කාලයක් ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් දුරකථන හා රූපවාහිනී තිර භාවිත කරන බවයි.
ඒ අනුව දරුවා වටා සිටින සමාජයේ චර්යාත්මක ගැටලු දරුවන් සඳහා සෘජුව බලපාන බවත් මේ පිළිබඳ වැඩිහිටියන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.