ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මේ පිළිබඳ සිදුකළ කරුණු ස්ථිර කිරීමකට අනුව එම වාර්තාව සකස් වී තිබේ. ඒ අනුව ලබන ජුනි 08වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ (FAO) මෙරට නියෝජිත විමලේන්ද්‍ර ෂාරාන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නියෝජ්‍ය නියෝජිත මාලින් හෙර්විග් අතර පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි සඳහන් වෙයි.
මෙහිදී අදහස් දක්වා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව මුහුණදීමට නියමිතව ඇති ආහාර හිඟයේ අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තු බලධාරීන් විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩසටහනක්ද ඔහු විසින් ඉදිරිපත් කර ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හානා සින්ගර්-හාම්ඩිගෙන් මේ සම්බන්ධයෙන් පුවත්පත කරුණු විමසා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වා ඇති එම සම්බන්ධීකාරකවරයා පසුගිය මැයි 19වැනිදා අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් 'බහු - ක්ෂේත්‍ර ජාත්‍යන්තර සහයෝගිතාවක්' සඳහා සහාය ඉල්ලූ බවත් පවසා තිබේ.
මේ අතර පසුගියදා පැවැති මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වෙත වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇති අගමැතිවරයා, වර්තමානයේදී කෘෂිකාර්මික ක්ෂේත්රය මුහුණදී ඇති වඩාත් බරපතළම කාරණාව වන්නේ පොහොර සහ ඉන්ධන හිඟය බව පවසා තිබේ. ඒ අනුව ඇතිවිය හැකි ආහාර හිඟය වෙනුවෙන් ඉදිරියේදී නාගරික කෘෂිකාර්මික ක්‍රමවේද ඇති කිරීම සම්බන්ධයෙන් ඔහු එම නියෝජිතයන් වෙත කරුණු පෙන්වාදී ඇතැයිද සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනද (UNDP) වර්තමානයේදී මෙම ගොවි ප්‍රජාව මුහුණදෙන පොහොර හිඟය මඟහැරවීම සඳහා ක්‍රියාත්මක කළ හැකි නවෝත්පාදන වගා උපදෙස් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු සකස් කරමින් සිටින බව පවසා තිබේ.
මේ අතර ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (FAO)ද අදහස් දක්වමින්, අද වනවිට රටෙහි නාගරික කෘෂිකාර්මික වැඩසටහන් සඳහා මුදල් ප්රදානය කිරීමට බොහෝ පිරිසක් ඉදිරියට පැමිණ තිබෙන බවත් සඳහන් කර තිබේ. එහිදී සාර්ථක මුලපිරීම් හරහා තවදුරටත් මූල්‍ය සහයෝගය ලැබීමේ අවස්ථාවක් පවතින බවත් ඔවුන් පවසති. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘ආහාර අර්බුද ප්‍රතිචාර සැලසුමක්‘ සකස් කිරීමටද තමන් කටයුතු කරමින් සිටින බවත් එම සංවිධානය පවසා සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝජිතයන් වෙත පෙන්වා දී ඇති ආකාරයට, වර්තමානයේදී මෙම ගොවි ප්‍රජාව මුහුණදී ඇති හිඟතාවන් වෙත කඩිනම් විසඳුම් ලබාදීම හරහා මෙම කෘෂිකාර්මික නිෂ්පාදන හිඟතාව මාස පහක් හයක් ඇතුළතදී වළක්වා ගත හැකි වෙනු ඇතැයිද සඳහන් වෙයි.