ඉන්ධන මිල ඉහළ දැමූවද තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියලක් රජයට පාඩු වන බවට බල ශක්ති අමාත්‍යවරයා පැවසීමෙන් අනතුරුව, අනුරාධපුර නගරයේ තරුණයන් පිරිසක් අනුරාධපුර ඉන්ධන පිරවුම්හල් අසල කැටයක් තබා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල බැගින් එකතු කරන ලද මුදල, තැපැල් මාර්ගයෙන් (මනිඕඩරයක්) අමාත්‍යවරයාගේ නමට යැවීමට ඊයේ (31දා) කටයුතු කළහ.
බලශක්ති අමාත්‍යවරයා සිදු කළ එම ප්‍රකාශයෙන් අනතුරුව, අනුරාධපුරයේ මිනිසුන් රටට ණය නැති මිනිසුන් යැයි පවසමින් තරුණයන් පිරිසක් අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල කැටයක් තබා පසුගිය 25දා සිට මේ දක්වා එකතු කළ සිල්ලර කාසි තොගය අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත රැගෙනවිත්, අමාත්‍ය කාංචන විජේසේකර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කෝට්ටේ යන ලිපිනයට මුදල් ඇණවුමක් මගින් යැවීමට කටයුතු කළහ.
මෙහිදී රැස්ව සිටි පිරිස් පැවසුවේ මෙම ආණ්ඩුව භාර ගත් දින සිට රුපියල මුළු ලෝකයටම බාල්දු කළ බවත්, අමාත්‍යවරයා රුපියලකට රටේ ජනතාව බාල්දු කළ බවය.
මෙහිදී රුපියල බැගින් එකතු කළ රුපියල් 2238ක පමණ මුදලක් යවනු ලැබීය.
