පෙට්රල් ලබා දෙන ඉදිරි දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි මවක් සහ දියණියක්, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ටිපර් රථයක ගැටීම හේතුවෙන් ඊයේ (30දා) සිදුවූ අනතුරකින්, එම දියණිය ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඉහලවැව, ශ්රාවස්තිපුර ලිපිනයේ පදිංචි පී.ඩී අනෝමා රණසිංහ නැමැති 36 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
බරපතළ තුවාල ලැබූ මරණකාරියගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලිසිය කියයි.
ඩීසල් ලබා ගැනීම සඳහා පැමිණ දින කිහිපයක් තිස්සේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථයක බැටරිය අක්රීය වීම හේතුවෙන්, වෙනත් ටිපර් රථයක් පැමිණ පසු පස කොටස අනෙක් ටිපර් රථයේ පසුපසට වැදීමට සලස්වා තල්ලු කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මරණකාරිය මව සමග පැමිණ යලි ඉන්ධන පැමිණෙන දිනය පිරවුම්හලෙන් විමසා නැවත යතුරු පැදියෙන් යාමට සූදානම් වූ අවස්ථාවේදී, එක්වරම පණ ගැන්වුණු එම ටිපර් රථය මව සහ දියණිය සිටි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


