පෙට්‍රල් ඉල්ලා පොලිසිය සමග ඇතිවූ කතාබහකින් පසු පොලිසියේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ශරීරයේ ස්ථාන 15 කට පමණ තුවාල සිදු වූ දෙදරු පියෙකු පානදුර මූලික රෝහලට ඊයේ (25දා) පස්වරුවේ ඇතුලත් වූ බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ මග්ගොන , වවුලුගල ප්‍රදේශයේ පදිංචි සමන්ත රාජපක්ෂ නමැති 49 දෙදරු පියෙකි.
ඔහුගේ තුනටිය, තට්ටම, පාද, උරහිස, වැලිමිට, තොල සහ කන අසල ඇතුළු ස්ථාන 15 ක පමණ තැලීම් සීරිම් සහ ඉදිමීම් තුවාල දැකගත හැකිවිය .
පානදුර මූලික රෝහලේහි නේවාසිකව ප්‍රතිකාර ලබන සමන්ත රාජපක්ෂ මහතා අසල ඔහුගේ 14 හැවිරිදි වියේ පසුවන පුතු පියාට රැගෙන ආ බත් පාර්සලය ඇතැතිව කදුළු පිරි දෙනතින් ඉකිගසන අයුරුද දැකගත හැකිවිය.
මම කුලී ත්‍රීරෝද රථ රියදුරෙක්. 20 දා සිට මග්ගොන සිපෙට්කෝ පිරවුම්හලේ පෝලිමේ සිටියා , පිරවුම්හලේ පෙට්‍රල් තිබුනේ නෑ. ඒත් 24දා රාත්‍රි පොලිස් ජීප් රථයක් පොම්පය ආවරණය වන පරිදි නවතා කෑන් වලට සහ තවත් යතුරුපැදි වලට පෙට්‍රල් ලබාගත්තා. මමත් තෙල් ලීටර් 2 ක් හෝ ඉල්ලුවා. පසුව පොලිසිය මට පහරදී ජීප් රථයට නංවාගෙන පයාගල පොලිසියට රැගෙන විත් අමානුෂික ලෙස පහර දුන්නා.
පසුව රාත්‍රි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාව සිරමැදිරියෙන් ඉවතට ගෙන දැත් වලට මාංචු දමා ලීයකින් සහ අතින් පයින් පහර දුන්නා. මගේ ශරීරයේ තුවාල 20 ක් විතර තියෙනවා .
සිරමැදිරියේ රදවා අයුතු ජනරාශී යන චෝදනාව යටතේ ඊයේ (25දා) සවස කළුතර මහේස්ත්‍රාත් තුමිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මට ඇප ලබාදුන්නා.
මේ සම්බන්ධයෙන් ඔහු පානදුර මානව හිමිකම් කාර්යාලයටද පැමිණිලි කර තිබේ. පානදුර රෝහල් පොලිසිය ප්‍රකාශ ලබාගත්තේය.
පානදුර සුමිත් පොතුපිටිය

