‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාරව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද(15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි. “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය අද(15) සිට ලබන 21 දක්වා ක්‍රියාත්මක වේ.
පළාත් පාලන සතියේ සමාරම්භක දිනය වන අද (15) ජංගම සේවා දිනය ලෙස නම්කර තිබේ. හෙට(16) පරිසර සහ රුක් රෝපණ දිනය ලෙසද එනම් ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව නම්කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය යෙදෙන සැප්තැම්බර් 17 වනදා සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසත්, 18 වනදා ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසද නම්කර ඇතැයි පැවසුවේය. සාහිත්‍ය මාසයට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම සතිය තුළ 19 වනදා සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය වශයෙන්ද ලෝක පිරිසිදු කිරීමේ දිනය යෙදෙන සැප්තැම්බර් 20 වනදා මහජන උපයෝගීතා දිනය ලෙස සහ අවසන් දිනය වන 21 වනදා සහතික පත්‍ර ප්රදානය සහ සමාප්තිය සනිටුහන් කරන බවද පැවසුවේය.
රටේ කැලි කසල බැහැර කිරීමෙන් පමණක් නතර නොවී ආයතනගත ගැටලුත් නිරාකරණය කරමින් පුරවැසියන් හැටියට වඩා පිරිසිදු තැනකට පත්වන්නේ කෙසේද යන කාරණය රජයේ ප්‍රධාන වැඩපිළිවෙලක් ලෙස පවතින බවද මෙම පළාත් පාලන සතියේදී ඊට අදාල මෙහෙයුම් රාශියක් සිදුවන බවද ඒ මහතා පැවසීය. ඩිජිටල්කරණය පිළිබඳව රජයේ පවතින ප්‍රධාන වැඩසටහනට අදාල ක්‍රියාකාරකම් රාශියක් මෙම පළාත් පාලන සතිය තුළ සිදු කෙරේ.
මෙම සියලු කටයුතු වල රජයේ අවසාන ඉලක්කය වනුයේ රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කර ශක්තිමත් ආර්ථිකයක් සහිත සතුටින් ජීවත් විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම බවද එම මෙහෙයුමත් මෙම පළාත් පාලන සතිය තුළ පවතින බවද පැවසුවේය.
මේ අනූව රජයේ ප්‍රධානම මෙහෙයුම් 03කට අදාලව විවිධ ක්‍රියාකාරකම් මෙම පළාත් පාලන සතියේදී සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.