අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරමකට හසු වූ වලස්මුල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පාසල් ක්‍රීඩා කාමරය තුළ ගෙල වැළලාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල පල්ලෙනක්ද උතුරු කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන නැමැති වයස අවුරුදු 38ක් වන දෙදරු පියෙකි.මෙම ගුරුවරයා පාසලේදී අතුරුදන් ව සිට ඇති අතර පසුව සොයා බැලීමේ දී ඔහුගේ සිරුර පාසල් ක්‍රීඩා කාමරයේ බාල්කය මත එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි .
මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී ලෙස පවත්වාගෙන යන අන්තර්ජාල පිරමීඩ ජාවාරමකට මුදල් යොදා ඇති අතර එම මුදල නැවත නොලැබීමෙන් සිත් තැවුලට පත් වී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සැක කරයි.
ගුරුවරයා මිය යාමට පෙර ඔහු සියදිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වී ඇති බව වලස්මුල්ල පොලීසිය කියයි.
ඔහු පිරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කළ ඇති බව ඔහුගේ බිරිඳ හෝ ඥාතීන් නොදැන සිටි බව පොලිස් විමර්ශන කටයුතුවලදී හෙළි වී ඇති අතර ,තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි ,සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලීසිය සිදුකරන බව වලස්මුල්ල පොලීසිය පවසයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ