පැපුවා නිව්ගිනියා වේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලකින් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට අලෙවි කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අම්පාර වෙළඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරු වලට අනුව උපාය දුතයෙකු යොදවා දුරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයා සම්බන්ධ කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී කලකට ඉහත දී ඔහු පැපුවා නිව් ගිනියාව රටේ රැකියාවක් කර ඇති අතර එහිදී පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලකින් සොරාගෙන ගුවන් මගින් රැගෙන ආ මෙම වාලම්පුරිය රේගු නිලධාරීන්ගේ ඇස් වසා රැගෙන ආ බවට ප්රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන ඌරගස්මන්හන්දිය පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසිය වෙත භාරදී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග උපදෙස් පරිදි අම්පාර විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව ප්රධාන පොලිස් පරීක්ෂක එච් එම් ඒ මනෝහර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.