අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගතයුතු පියවර සහ නිර්දේශ සහිතව එම වාර්තාව සකස් කර තිබෙන බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
පිටු 200කින් පමණ සමන්විත මෙම වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබූවේ කිසිවෙකු වරදකරු කිරීමට නොවන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද කුමාරසිරි මහතා,
“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ බලය තියෙන්නේ උසාවියට. විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූයේ අතපසුවීම්, අඩුපාඩු හා දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයාබැලීම පමණයි.
නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණය වීම, එම තොරතුරු නිසි ලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලුවා. එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරයන් වාර්තාව මගින් නිර්දේශ කරනු ලබනවා" යනුවෙන්ද පවසා සිටියේය.
