ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමිව ප්‍රවාහන ගාස්තුව සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තමන්ට අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් වැඩිවන ප්‍රතිශතය නිශ්චිතවම ජුලි මස පළමු වැනිදා අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (27දා) අම්බලන්ගොඩ සිය සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .
සිය ගාස්තු සංශෝදනය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සංගමය ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම පිලිබදව ද සලකා බලා සිය සංගමයද ප්‍රවාහන ගාස්තු වැඩිකරන බවද මෙහිදී ප්‍රසාද් මහතා කිවේය .
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ජුලි මස පළමු වැනිදා බස් ගාස්තු වැඩි කිරීමට සමගාමිව සිය සංගමයද එදින සිට ප්‍රවාහන ගාස්තු වැඩි කරන බවද ප්‍රසාද් මහතා පවසයි.
එහිදී වැඩි දුරටත් කතා කල ප්‍රසාද් මහතා මෙසේ ද කිවේය .
ඉන්ධන මිල ඉහල දැමීම අපේ ප්‍රශ්නයක් නෙමයි .කොරෝනා වැනි ජාතික ආපදා තත්ත්වයක් නිසාවුවක් ද නොවේ .මෙය තනිකරම රට පාලනය කරන පාලකයින්ගේ වරදින්වුවක් .මෙයට අපි වන්දි ගෙවන්න සුදානම් නැහැ .නමුත් මේ කිසිදෙයක් නොදන්නා පාසල් සිසුන්ට හා ඔවුනගේ දෙමාපියන්ට වන්දි ගෙවන්න වෙලා තියෙනවා .
මේ පාලකයින්ගේ ක්‍රියා කලාපය නිසා එදා මොන්ටිසොරියට ගිය දරුවට එක වසරට නොගිහිල්ලා දෙක වසරට යන්න වෙලා තියෙනවා .මේක මොනතරම් සහාසික අපරාදයක් ද .රටේ මොනතරම් අවාසනාවක්ද .මේ තත්වය ගැන හිතලයි අපි දැන් මේ රැකියාව කරන්නේ .මේ වනවිට අපේ කර්මාන්තය කිවනොහැකි තරමටම බිද වැටිලා.තව ටිකයි තියෙන්නේ සහමුලුමනින්ම බිද වැටෙන්න .මෙහේම ගියොත් එක ඉදිරියේදී සිදුවේවි .
ග්‍රාමීය පාසල් ආරම්භ කරාට අපිට දින පහාම දුවන්න වෙනවා.එක ළමයෙක් පාසලට ගියත් අපිට අපේ සේවාව දෙන්න සිද්ද වෙනවා.ඕකයි තත්වේ .අධ්‍යාපන ලොක්කෝ මේ තීන්දු තීරණ ගන්නේ තනියම.අපිත් එක්ක සාකච්චා කරන්නේ නැහැ .ගුරු සංගම් එක්ක සාකච්චා කරන්නේ නැහැ .එහේම වුනාම ඔවුන් ගන්නා තීරණ අසාර්ථක වෙනවා .අපිටත් පාසල් යන ළමයි ඉන්නවා .මොනවා කරන්නද මේ තත්ත්වය හමුවේ දෙමාපියන්ට දරුවන් පාසල් යවන්නේ කොහොමද කියන එක හිතා ගන්නවත් බැහැ.
අපි ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ කැමැත්තකින් නොවේ .අපේ කර්මාන්තය පවත්වා ගෙන යාමටයි .ලාභයක් බලාගෙන මේ කර්මාන්තය දැන් කරන්න බැහැ .අපිත් දන්නවා ඉන්ධන මිල වැඩි කරන කරන පාරටම අපිට ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න වෙනවා .අපි ගාස්තු වැඩි කරන්නේ අමතර කොටස්වල මිල ඉහල යාම ගැන හිතන්නේ නැතිවයි .ඒ ගැන හිතුවොත් ප්‍රවාහන ගාස්තු සියයට සියයකින් විතර වැඩි කරන්න වෙනවා .
ගාස්තු ඉහල දැමීම සම්බන්ධයෙන් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ ප්‍රධාන සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතා ද මෙහිදී අදහස් දැක්විය .
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
