කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ, ලෝක ළමා දින සැමරුම, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.10.01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...
"දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මැදිහත් වෙමින් ඒ සදහා වූ යෝජනා රාශියක් ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට, ගැටලු රාශියක් මැද දරුවන් සුරක්ෂිත කරගැනීම, දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම හා සන්තුෂ්ටියට පත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. එම ක්‍රියාමාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාවන් හා සහයෝගයන් ලබාදීම අත්‍යාවශ්‍යයි.
දරුවන්ට සමාජය තුළ පොදුවේ තම ජීවිතයට හිමි අයිතියක් හා අනාගත සමාජයේ පුරවැසියන් බවට ඉටු කළ හැකි කාර්යභාරය ට පරිවර්තනය කිරීමට බාධාවල් තිබෙන්න බැහැ. එවැනි නීති බාධා තිබෙනවා නම් ඒ බාධා වෙනස් කළ යුතුයි.
ඒ වෙනුවෙන් රජය ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට, ක්‍රියාත්මක කිරීමට මැලි විය යුතු නැහැ.
පෞද්ගලික අංශය තම ආදායම් වලින් විශාල පරිත්‍යාගයන් දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙන් කරනවා. එයට ස්තුතිවන්ත වෙනවා.
ලක්ෂ 50 ක පමණ දරු පරම්පරාව වෙනුවෙන් අපි තීරණ ගත යුතුයි. පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා. ඒත් අපි කතා කරන්නේ විභාගයෙන් සමත් වන අසමත් වන ළමයි ගැන විතරයි.
ළමා ආරක්ෂක හා අනෙකුත් ප්රඥප්තින් තවදුරටත් ශක්තිමත් කරන්න අමාත්‍යවරිය දරන උත්සාහයට අපි සහයෝගය සක්‍රීයව ලබාදෙන්න කටයුතු කරනවා.
අපේ රටේ ළමා සිනමාවක් නැහැ. එවැන්නක් ගොඩනගමු. මහා සිනමා ශාලා අවශ්‍ය නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පළාත් සභා එක්ව එවැනි ව්‍යාපෘතියකට සහාය දක්වන්න අප සූදානම්. එමගින් දරුවන්ගේ සංතෘෂ්ටිය සඳහා තවත් මාවතකට අපි දොර විවර කරමු."