මෙරට සිටින බහුතර දේශපාලනඥයන් වංචාව, දූෂණයට එරෙහි නොවන බවත් වංචනිකයන් හා දුෂිතයන්හට දේශපාලන රැකවරණය ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් රටේ පාලකයන් හා දේශපාලකයන් කොතෙක් දැනුවත් කළ ද අනුශාසනා කළ ද ඵලක් නොවන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පැවසීය .
උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (19) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ශ්‍රී ලංකා ගුවන් සමාගමට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළ අවස්ථාවේදීය . එහිදී මහා නායක හිමියන් මෙසේ ද අනුශාසනා කළේය.
කලින් කලට පත්වන බහුතර දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් රට ගැන සිතා කටයුතු කරන බවක් පේන්න නැහැ . ඔවුන් බහුතරය වංචාවට දූෂණයට විරුද්ධ අය නොවෙයි . මේ තත්ත්වය තත්ත්වය ඉතාමත් කනගාටුදායක තත්වයක් . දුර්වල පාලනය හේතුවෙන් රටේ සම්පත් මෙන්ම ජනතාවද ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබෙනවා.
පිරිස මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී මහා නාහිමියන් මෙසේ අනුශාසනා කළේය.
"නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට බලය ලබාගත් දේශපාලනඥයින් බහුතරයක් රට හැදීමට නොව විනාශ කිරීමට මුල්වී මුල් වී ඇති බව පේන්න තිබෙනවා . මේ වන විට බහුතර රාජ්‍ය අංශ වංචාවෙන් හා දූෂණයෙන් පිරිහී ගොස් තිබෙනවා. දේශීය ව්‍යාපාර ආරක්ෂා කරන බවට සපථ වෙමින් බලයට පත්වන රජයන් කටයුතු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට.කලින් කලට පත්වන දේශපාලඥයන් හා නිලධාරීන් කටයුතු කරන්නේ රට ගැන නොසිතා ඔවුන්ගේ මඩි තර කර ගැනීමටයි."
දේශපාලඥයන් තම බලය රැක ගැනීම පමණක් සිතා කටයුතු කිරීමෙන් රටට මේ ඉරණම අත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් බවට රජයෙන් මේ වන විට ප්‍රකාශ කොට ඇති බවත් හම්බන්තොට ගුවන්තොටුපොල නඩත්තු වන්නේ ද කටුනායක ගුවන් තොටුපලේ ආදායමෙන් බවද මෙම ආයතන ගොඩ ගැනීමට නම් විධිමත් පරිපාලනයක් මෙන්ම මනා කැපවීමක් අවශ්‍ය බවද මහ නා හිමියෝ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය .