පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්
සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.
මේ අනුව, සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී ඇත.
සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පැවසුවාය.
එමෙන්ම, සැප්තැම්බර් 23 වැනිදා විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට ද නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

