මෙම සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (04දා) සිට එළඹෙන 06වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්) සමග මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයීය නිවේදන යටතේ මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
අනතුරුව හෙට පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 දක්වා එම ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එළඹෙන 06වැනිදා හැර අන් දෙදිනම පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනිද්දා (05දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර එදිනට නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය.
අනතුරුව රජය ගෙනෙන යෝජනාවකට අනුව 2022 මාර්තු 08වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 05.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මැයි 06වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 05.30 දක්වා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී ඇත.
මේ අනුව පෙ.ව. 10.00 සිට ප.ව. 05.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන චන්ද්‍රකුමාර විජයගුණවර්ධන මහතා, ටී.බී ඒකනායක මහතා, කේ. තුරෙයිරත්නසිංහම් මහතා සහ පූජ්‍ය බද්දේගම සමිත හිමි වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇත.