මේ වසරේ අදාළ නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49දෙනෙකු පමණක් බව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවටද කථානායකවරයා ඇතුළු ඇමතිවරුන් ජනාධිපති කාර්යාලයටද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වේ. එසේම අදාළ වර්ෂයේ මාර්තු 31වැනිට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව ඇත.
එසේ වුවද, මෙම වර්ෂයට අදාළව මැයි මාසය අවසන් වනවිට පාර්ලිමේන්තුවට සිය වත්කම් බැරකම් ලබාදී තිබූ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 13කි. ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 36දෙනෙකු ජනාධිපති කාර්යාලයට තම වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 31වැනිදාට අදාළව භාරදී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225දෙනා අතරින් මන්ත්‍රීවරුන් 176දෙනෙකු අදාළ කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වී ඇත.
එමෙන්ම පසුගිය 2022 වසරේදී මන්ත්‍රීවරුන් 64දෙනෙකු සිය වත්කම් බැරකම් තොරතුරු ලබාදී නොමැති බවද මෙම තොරතුරු පරීක්ෂා කිරීමේදී අනාවරණය වේ.
ඒ අනුව පාර්ලිමේන්තුව වෙත මන්ත්‍රීවරුන් 129දෙනෙකු සහ ජනාධිපති කාර්යාලයට අමාත්‍යවරුන් 32දෙනෙකු පමණක් සිය වත්කම් බැරකම් තොරතුරු ලබාදී තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මෙම තොරතුරු ලබාගැනීමට හැකි වුයේ, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මුදාහරින ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට ලබාදුන් නියෝගයෙන් පසුවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති ප්‍රමාණය තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් 2018 වසරේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියද, එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට සිදුකළ අභියාචනය දීර්ඝ කාලයක් පුරාවට විභාග විය.
අනතුරුව තොරතුරු මුදාහරින ලෙස කොමිෂන් සභාව නියෝග කළ අතර, පාර්ලිමේන්තුව විසින් එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේදී අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනයද දීර්ඝ ලෙස කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවට මේ වසරේ මර්තු මාසයේදී නියෝග කළේය.
ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තුව විසින් මෙම තොරතුරු ලබාදී තිබිණි.