ආණ්ඩු වහාම කුමන හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, එසේ මැතිවරණ ලබා නොදීමට කටයුතු කරන්නේ නම් ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
"දැන් ජනාධිපතිවරයා යෝජනා කරනවා අලුත් වැඩපිළිවෙළවල් දෙකක්. එතුමා යෝජනා කරනවා පළාත් පාලන ආයතනවල සභාපතිවරයාගේ බලය වැඩියි, ඒ නිසා තීන්දු තීරණ ගැනීමේ සභාපතිවරයාට තිබෙන බලය වෙනස් කරලා සභාපතිවරයා ප්රමුඛ කමිටුවකට දෙනවා කියලා. එක පැත්තකින් තර්කය හොඳයි.
නමුත් මේක කරන්නේ පළාත් පාලන ආයතනවලින් කරන සේවාව ප්රශස්ත කරන්න නෙවෙයි. මේ කරන්න හදන්නේ පළාත් පාලන පනතට සංශෝධන ගෙනල්ලා පළාත් පාලන මැතිවරණය කල් දැමීමයි. ඇයි? ආණ්ඩුව බයයි මැතිවරණවලට. ආණ්ඩුව බයයි පළාත් සභා මැතිවරණයට. ආණ්ඩුව බයයි පාර්ලිමේන්තු මැතිවරණයට.
මම ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් කියනවා මේ සියල්ලටම බය නම් පුළුවන් නම් සංශෝධනයක් ගෙනත් වහාම ජනාධිපතිවරණයක් තියලා බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි ඒකටම යමු මුලින්ම. දැන් තවත් යෝජනාවක් අරන් ඇවිත් තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනිලු.
ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ එකඟතාවක් නොමැති නම් වහාම ජනමත විචාරණයකට යනවාලු. අපි කියනවා ජනාධිපතිතුමා ප්රමුඛ රජයට ඒ යෝජනා දෙකම පැත්තකින් තියලා කරුණාකරලා පොහොට්ටුව කැමති මැතිවරණයකට යන්නකෝ. අද රටේ ක්‍රියාත්මක වෙන්නේ විකෘති පාලනයක්. මිනිස්සුන්ගේ ජනමතය රටේ තීන්දු තීරණ ගන්න තනතුරුවල නියෝජනය නොවන අවස්ථාවක්. ඒ නිසා වහාම මැතිවරණයකට යා යුතුමයි. අපට මැතිවරණයක් ඕන. රජය දෙන්නේ නැතිනම් අනාගතයෙදි අපි මහපාරට බැහැලා මැතිවරණයක් ලබාගන්නවා කියලා මම මේ අවස්ථාවේ කියනවා" යනුවෙන් කියා සිටියේය.