අනුරාධපුර - තලාව ප්රධාන මාර්ගයේ පාපැදියක් තල්ලු කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පෙරේදා (29 දා) බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වැව, ශ්රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඩී.එම්. විජේ බණ්ඩාර නැමැති 62 හැරි පුද්ගලයෙකි.
මරණකරු තලාව දෙස සිට අනුරාධපුර දෙසට පා පැදියක් තල්ලු කරමින් පා ගමනින් යමින් සිටියදී නාසයෙන් ලේ ගලා මාර්ගය අසල වැටී සිටියදී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව පොලිසිය කියයි.
කිසියම් රථ වාහනයක ගැටී මෙම අනතුර සිදු වූයේද යන්න දැන ගැනීම සඳහා රථ වාහන පොලිසිය පරීක්ෂණ සිදු කල අතර මෙම පාපැදියේ කිසිවක් ගැටී නොමැති බවත් මරණ මරණකරු යම් රෝගයකින් පෙලී ඇති අයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.
මරණයට නිශ්චිත හේතුවක් දැන ගැනීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණු අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.