මිනිස්සුන්ට කෑම නොමැතිවූ විට කෑමට දෙයක් ලබාදෙන බවට සඳහන් කළ විට ඔවුන් ඕනෑම දෙයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයන් රාමඤ්ඤ මහා නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල මහනායක හිමියන් මුණගැසීම අද (28 දා) පෙරවරුවේ සිදුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ, යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.
"නව යටත්විජිතවාදය කියන එකේදී කවදාවත් හමුදාවක් ඇවිල්ලා රට අල්ලගන්නේ නෑ. රටේ ආර්ථිකය හැසිරවීම සහ පාලනය තමන්ට හිතවාදී පිරිසක් අතට පත්වන බවට වගබලාගන්නවා. එතකොට නැවත රට බේරාගැනීමේ නිදහස් අරගලයක් කියලා එකක් අවශ්‍ය වෙන්නේ නෑනේ.
මොකොද තමන්ගේ මිනිහා තමන්ට ඕන විදිහට ඒ රට පාලනය කරනවා. ආසියාවේ හරි මැද තමයි ලංකාව තියෙන්නේ. සමහර වෙලාවට අපිට ශාපයක් වෙලා තියෙන්නේ මේ පිහිටීමයි. ඒත් අවශයනම් ඒක ආශිර්වාදයක් කරගන්නත් පුළුවන්. ඇමරිකානු යුධ විශේෂඥයෙක් වෙන රොබට් කප්ලාන් කියනවා "මේ සියවසේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරය, ඒකේ හරි මැද තියෙන ලංකාව තමයි වැදගත් ම රට !” කියලා. මේ හැමෝටම ඔනේ ලංකාව තමන්ගේ පාලනයට නතුකරගන්න.
මිනිස්සුන්ට කන්න නැතිවුනාම කෑම ටික දෙනවා කිව්වොත් ඕන දෙයක් කරන්න ලෑස්තිවෙයි. කෑම ප්‍රශ්නෙටත් වඩා ලොකුම ප්‍රශ්නේ තමයි බෙහෙත් ප්‍රශ්නේ. පරිප්පු නැත්නම් මුං ඇට කන්න පුළුවන්. පාන් නැත්නම් අලගෙඩියක් හරි තම්බගෙන කන්න පුළුවන් ඒත් මේ බෙහෙත් නැති ප්රශ්නය නිසා හෘදය රෝගීන් සහ පිළිකා රෝගීන් මැරෙන්නට පටන්අරන් තියෙනවා. වෙන සංවර්ධන වැඩ පොඩ්ඩකට පස්සට තියලා දුප්පත් මිනිහට දවසකට එක වේලක් හරි කන්න පුළුවන් වෙන විදිහට වැඩකරන එක තමයි මේ මොහොතේ වැදගත්වන්නේ.”
