යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනෙක් අද (27දා) පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ගිලන්රථ රියදුරෙකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර , උණ්ඩය නිසියාකාරව පත්තු නොවීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයිද පොලිසිය කීය.
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් , හෙරොයින් මත්කුඩු කිලෝ 45 ක් යුදහමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදීම වෙඩිතැබීමට ආසන්නතම හේතුව බවට හදුනාගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් පැවසීය.
ගිලන්රථය දහවල් 11.15 ට පමණ පානදුර කේතුමතී කාන්තා රෝහලෙන් පිටත්ව පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර , ගිලන්රථය ලුහුබැඳ පැමිණි තුවක්කුකරුවන් , ගිලන්රථය පානදුර මූලික රෝහලට ඇතුල් කරනවාත් සමගින් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී වෙඩිතබා මොරටුව දෙසට පලාගොස් ඇති බවට ලද තොරතුරු මත පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
වෙඩිතැබීමට පැමිණ තුවක්කු කරුවන් පිස්තෝල දෙකක් රැගෙන පැමිණ ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය සදහන් කරයි.වෙඩි තැබීම සඳහා මිමි 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් වැටී තිබුණු ජීව උණ්ඩයක් සොයාගත් බවත් පොලිසිය කියයි .
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහන සිල්වා සහ පොලිස් පරීක්ෂක එස්.එම්.පී. ලිවේරා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් ප්‍රේමතිලක