පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව ඇති වැදගත් ලිපි තොගයක් පිංවත්ත ශාන්ති මාවතේ මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී ඊයේ (10දා) පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.
ස්වර්ණාභරණ උකස් කිරීම , විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීම් ලිපි, විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු වැදගත් ලිපි 99 ක් මෙහිදී පොලීසිය සොයාගනු ලැබීය .
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුසුම්සිරි සිල්වා මහතා ලිපි තොගය දැක පින්වත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටකෙයියා පඳුරක් අසල තිබූ ලිපි සිය භාරයට ගෙන තවත් ලිපි ඇත්දැයි අවට ප්‍රදේශය සෝදිසි කරන ලදී .
පානදුර තැපැල් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුද පොලිසියට කැඳවා තිබූ අතර , හිමිකරුවන්ට ලිපි ඉක්මනින් බෙදාදීම සහ තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර තැපැල් ස්ථානාධිපතිනි එන්.ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
එතන වැදගත් ලිපි නැහැ. ඒ දිනවල පෝස්ට්මන් කෙනෙක් නැතිව කම්කරුවන් දාලයි ලිපි බෙදුවේ. ඒ නිසා කවුරුන් අතින් උනාද කියලා සොයාගන්න අපහසුයි. පොලිසියේ දැනුම් දීමට අනුව නිලධාරීන් දෙදෙනෙකු යැව්වා. අපේ විමර්ශන කණ්ඩායමට මේ ගැන දැනුම් දෙනවා. යනුවෙන් පැවසීය .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් , උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.හේරත් කොස්තාපල් කොස්තාපල් අධිකාරී (59102) පරීක්ෂණ සිදුකරති.
පානදුර සුමිත් පොතුපිටිය සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
